Monday, July 30, 2012
89 කළබල අස්සේ අයිස් පලම් කෑවෙමි....
89 ජේවීපී කලබල පටන් ගන්න කාලෙ අපි හිටියේ මාතර ගමේ ගෙදර,
අම්මයි තාත්තයි දෙන්නම ඉගැන්නුවේ ගමේ ඉස්කෝලේ,
ඉස්කෝලේ නිවාඩු දුන්නා කලබල නිසා,
ඈත පැත්තක මිස්ලා වගේකුත් අපේ ගෙදර නැවතුනා ගෙවල් වල යන්න බස් නැති නිසා,
ලයිට් කනු කපලා , බස් ගිනි තියලා, පාලම් බෝක්කු කඩලා නිසා කොහෙවත් යන්න එන්න බෑ,
මට මතකයි තාත්තා එක්ක පයින් ගිහිල්ලා භූමිතෙල් කෑන් දෙකක් ගෙනාවා ෂෙඩ් එකෙන්,
ඒක අරගෙන එනකොටත් පොළිස් ජීප් එක නවත්තලා ඇහුවා කෙහේද ගියේ කියලා, ඕඅයිසී මහත්තයා කිව්වා තාත්තට සර් ඉක්මනට ගෙදර යන්න අරුං ඇඳිරිනීතිය දාලා කියලා,
ඒ වෙනකොටත් සහෝදරයෝ තුන්ඩු බෙදලා කඩ වහන්න අරගෙන,
අපි කිලෝමීටර් 2 වගේ පයින් ඇවිදගෙන ගෙදර ආවා,
ගොඩක්ම තරුණ සහෝදරයෝ අම්මගෙයි තාත්තගෙයි ඉස්කෝලේ ගෝලයො නිසා කරදරයක් උනේ ම නෑ....
ලයිට් නැති නිසා වේලාසනින් කාලා නිදා ගන්නවා ,
ඒ කාලේ හරිම බයෙන් තමා හිටියේ,
පොඩි උනත් මොකක් හරි අවට වෙනවා කියලා තේරුනා,
හිටපු ගමන් පොලීසියෙන් ගෙවල් වලට පනිනවා, හමුදාවෙන් එහෙ මෙහෙ යනවා, වෙඩි සද්ද නිසා අම්මලා ගෙදරින් එළියටවත් බහින්න දුන්නේ නෑ...
මාස ගානක් ගමේ මේ වගේ හිරවෙලා ඉන්න කොට තාත්තලගේ දුරින් නෑ වෙන කට්ටියක් ඉන්නවා ගමේම ටිකක් දුරින් වෙන්න,
ඒගොල්ලෝ ආවා දවසක් මොකක්හරි වැඩකට,
ඇවිල්ලා යනකොට මාවත් එක්කන් ගියා එහෙ දවස් දෙක තුනක් ඉඳලා එමු කියලා,
මීට ඉස්සර එහෙ ගියාට නැවතිලා ඉඳලා නැති නිසා මමත් පැනලා කැමති උනා,
ගේ ඉස්සරහම ලොකු පේර ගස් , ලොවි , අඹ වගේ පළතුරු ජාති ගොඩක් එහෙ තිබුනා,
ඒ ගාල්ලේ ලොකු තාත්තගෙ ගෙදර,
ගාල්ලේ ලොකුඅම්මා තමයි මාව එක්කන් ආවේ.
අයියලා දෙන්නා එක්ක සෙල්ලං කරන්න තමයි මේ ආවේ,
ලොකුඅම්මගේ ගම ගාල්ල නිසා ගාල්ලේ ලොකුඅම්මා කියලා තමයි අපි කිව්වේ,
ඉබේටම ලොකු තාත්තා ගාල්ලේ ලොකුතාත්තා උනා,
එහෙ ගියාම මී කිරි කෑම වරදින්නෙම නෑ,
ගාල්ලෙ ලොකුතාත්තා මී හරක් ඇතිකරා ,
කුඹුරු තිබුනා ඒගොල්ලන්ට, හුනුසාල් බත් කියලා කිරිබත් වගේ එක්ක හදනවා උදේට කන්න,
ඒවා කන්න හදන්නේ පොල් මැල්ලුමක්,
ඒ පොල් මැල්ලුමේ රස තාම දැනෙනවා වගේ,
අඹ කොට වල තියෙන ලේන හතු දාලා තමයි ඒ පොල් මැල්ලුම හදන්නේ,
ගොඩක්ම ගාල්ලේ ලොකු අම්මලාගේ ගෙදර යන්නේ වෑදමට හදන මේ කෑම කන්න,
ගොයං කපන කාලෙට ලොකු අම්මා හදන වෑදම කන්න පුළුවන් බඩ පැනෙකං,
ඒ තරං රහයි,
මී කිරි කන්නත් කිතුල් පැණි මුල එල්ලලා තියෙන්නේ දුම් මැස්ස ලඟ,
ඒකේ යටම තියෙන වැලි හකුරු එක්ක තමයි ලොකු තාත්තා කිරි කන්නේ.
කට පිරෙන්න ලොකු වැලි හකුරු කෑල්ලක් දාගෙන සූප්පු කරාම තල්ලත් එක්කම හීරෙනවා,
ඒත් ඒ රස නිසා ඇතිවෙන්න කනවා,
ගමේ ඉන්නකොට ඉරිදා පොළ දවසට අයිස් ක්‍රීම් බයිසිකලයක් එනවා,
ගෙදර අයිස් පෙට්ටියක් තිබුනේ නැති නිසා කොහොමහරි ඉරිදට අයිස් ක්‍රීම් එකක් කනවා,
ඒත් හැම දාම නෙමෙයි, ඉඳලා හිටලා තමයි,
ඒවා කෑවම බඩේ ගාය හැදෙනවා කියලා අම්මා අරන්දෙන්නේ ඉඳලා හිටලා.
ගාල්ලේ ලොකුඅම්මලගේ ගෙදර ගියාම එහෙම නෙමෙයි අයිස් පලම් හදලා දෙනවා ඇති තරං කන්න,
ඒ ලොකුඅම්මා ගාල්ලේ නිසා ගමේ අයට වැඩිය කෑම ජාති එහෙම හදන්න දන්නවා කියලා අපේ අම්මා කියනවා ඒ දවස්වල,
අයිස් ක්‍රීම් කෝටුව වගේ කෝටු වලට ගහලා පාට කරපු අයිස් පලම් දෙනවා අපි ගියාම,
සමහර දවස් වලට දිවුල් වලිනුත් හදනවා,
ඒත් මේ ජෙවීපී කාරයෝ ලයිට් කනු ඔක්කොම කපලා පාරේ වයර් හැමතැනම,
මේ පාරනං අයිස් පලම් කාලා ඉවරයි කියලා හිතාගෙන එහෙ ගියේ,
මුල්ම දවසේ මී කිරි අරව මේවා ඔක්කොම කෑවා...
හවස් වෙනකොට මෙන්න ලොකු අම්මා අහනවා අයිස් පලම් කන්නේ කව්ද කියලා...
විහිළුවට කියලා හිතුන අයියලා ඒත් දෙන්නා දුවලා ගිය නිසා මමත් ඒ පස්සෙන් කුස්සියට දිව්වා,
ඇත්තම අයිස් පලම් ,
http://www.bensdiscountsupply.com/servel-dometic-rk400-kerosene-refrigerator.aspx
ලයිට් නැතුවත් ඒ අයිස් පෙට්ටිය වැඩ,
පස්සේ ලොකුතාත්තා පෙන්නුවේ ඒක වැඩකරන හැටි. යටි පැත්තේ බටයක් වගේ එකකින් භූමි තෙල් වලින් පහනක් වගේ එකක් පත්තු කරලා ඇතුලට දැම්මම තමයි කූල් වෙන්නේ,
ලොකු අම්මා ගාල්ලේ ඉඳලා එනකොට දෑවැද්දට අරගෙන ආපු එකක්,
හරි පරිස්සමට තමයි ඒ දවස් වලා පාවිච්චි කරේ,
කිසිදා අමතක නොවන අතීතයක්....
Subscribe to:
Post Comments (Atom)




.jpg)




ලස්සන මතකයක්...:)
ReplyDelete//ගොයං කපන කාලෙට ලොකු අම්මා හදන වෑදම කන්න පුළුවන් බඩ පැනෙකං, ඒ තරං රහයි//
වෑදම කියන්නේ මොනවද?
කොච්චර නරක කාලයකදි උනත්, මිහිරි අතීතයක් මතක තිබිලා තියනවා.
වෑදම කියන්නේ ගොයං කපන අයට කන්න දෙන්න හදන බත් වලට, පං කොළ පෙට්ටියේ කෙසෙල් කොළ වලට දාලා බත් ගේන්නේ හරිම රසයි , ඇඹුල කියන්නෙත් මේකටමයි....
Deleteටිකිරි මැණිකේ ඇඹුල ගෙනැල්ලා......සිංදුවකුත් තියෙන්නේ....
අපි කියන්නෙත් ඇඹුල කියල...
Deleteපලාත අනුව වෙනස් වෙනවා ඇති නේද....අපේ පැත්තේ කිව්වේ වෑදං කියලා....රතු කැකුළු හාලෙන් කිරිබත් හදලා හාල්මැස්සෝ බැදුමක් එක්ක ගේන්නේ බට ලී පෙට්ටියේ, ඒකේ සුවඳ මේ දැනුත් දැනෙනවා.....
Deleteමාත් දන්නේ ඇඹුල කියන වචනේ.:)
Delete
Deleteඇඹුලට , වෑදම කියලා තමයි දකුණේ කියන්නේ .ඒක සෑහෙන්න ප්‍රාදේශීය වෙලා අපේ ගම් පලාතේ කියන්නේ " දවාල උයනවා " කියලා :) :)
නම කොහොම උනත් රස නං කියලා වැඩක් නෑ....
Deleteමටත් ඒ කාලේ මතකයි.පොඩි හින්ද බේරුණා කියල පස්සෙ කාලෙයි දැනගත්තෙ.ඒ උනාට අපේ ගංවල ගොඩක් දරුණුවට දෙයක් උනේනෑ.
ReplyDeleteඇත්ත කථාව..පොඩි නිසා බේරෙන්න ඇති...අපේ පැත්තෙනං වෙන්න ඕනේ ඔක්කොම උනා..
Deleteමගේ නොනගේ අම්මත් ඔය පොල් මැල්ලුම් හදනව මස්සිනා හෙන පෙරෙතයි ඔය මැල්ලුමට..අපි කාටත් අඳුරු දවස්වල තියෙන අත්දැකිම් විවිදා කාරයි නේද මචං මොනා උනත් අපේ පොඩි කාලෙනම් පට්ටම සුන්දරයි
ReplyDeleteඒ රස තාම දැනෙනවා මචෝ....ලේන හතු එක්ක පොල් මැල්ලුමක් ආයි කවදා කන්න වෙයිද දන්නෑ....අර හුනුසාල් බත් කියන එකත් මම ඊටපස්සේ කාලම නෑ....ඒ කාලේ මාරම සුන්දරයි නේද...
Delete"Hunusal bath" kiyanne haal polala gaththama ithuru wena aegiti walin uyana bath walata.
Deleteඒක ඇවිල්ල "සුනු සහල්" හාල් පොලලා ඉතුරුවෙන බාගෙට කැඩිච්ච හාල් ඇට..මම මේ කියන්නේ හුනුසාල් බත් කියලා වෙනම ලියද්දක දෙකක වවන හාල් ජාතියක්, ගොඩක්ම ඒ හාල් ගන්නේ දානේ උයන්න, අර මා වී වගේ හිඟ වී ජාතියක්, ඉස්සර රජ්ජුරුවන්ට කන්න උයපු රස හාල් ජාතියක් ලු, වැඩක් නෑ කියලා මාරම රසයි...
Deleteඅපි සුනුසහල් බත් කියල කෑවෙත් ඔය ඇනෝ කියල තියෙන විදියට.... ඒවත් හරිම රසයි... එහෙම වෙනම වවන ජාතියක් තියෙනවා කියල මං දැනන් උන්නෙ නෑනෙ.... ඒ වගේම ලේන හතු එක්ක පොල් මැල්ලුමක් කාලත් නෑ.... කූනිස්සො එක්ක පොල් මැල්ලුම් නම් කාලා තියෙනවා.... ලේන හතු වෙනම තෙල් දාල උයලා කාල තියෙනව කියල මතකයක් තියෙනවා....
Deleteවෙනම ලියද්දක් තිබ්බා ඔය හුනුසාල් වලට..ඒ බත් හරිම රසයි.ගොඩක් දානේ උයන්න එහෙම ගත්තේ....
Deleteබොක්ක රත්වෙලා හිටිය කාලෙක කූල් අයිස් පලම් කාලානේ :D
ReplyDeleteඒකනේ වැඩේ කියන්නේ...අහම්බෙන් මතක් උනේ මේ සීන් එක...
Deleteකටට කෙල උනනවා කියවගෙන යද්දි .අර ෆ්‍රිජ් එකනම් මරු ඈ
ReplyDeleteදැන් ඒක තියෙනවද දන්නෑ...සමහර විට කෑලි හරි ඇති....සිසිල් වගේ මට මතක මොඩල් එක....
Deleteඒ කාලෙ තිබ්බ සිසිල් ෆ්‍රිජ් මහ දඩාර් සයිස් ඒවා.... මමත් ඔය ඇහුවමයි ඔහොම වැඩ කරන එකක් ගැන.... නියමයිනෙ...
Deleteඅපේ යාළුවෙක්ගේ ගෙදර තිබ්බා අර පත හැඩල් එකට රෙද්ද්ක් ඔතලා තියෙන්නේ...කෙලින්ම ඇල්ලුවොත් කරන්ට් වදිනවා.....
Delete89 අමිහිරි මතක අතර හීන් සුන්දර මතකත් තියනවා
ReplyDeleteමේ වගේ හීන් එවා ගොඩක් තියෙනවා ඒ දවස්වල වෙච්ච....
Deleteකෝල් එකක් දුන්නනං මාත් එනවනේ....!
ReplyDeleteහික් හික් අයිස් පලං කන්න ද?...වැරදුනා අයිස් පලම්......
Deleteඅඳුරු සමයක් උනාට රසවත් අතීතයක්, විශේෂයෙන්ම අර රසවත් කෑම වල විස්තරය නිසාම. දන්නෙම නැතිව කියවලා ඉවර වෙනකොට කටට කෙළත් උණලා.
ReplyDeleteඅර භූමිතෙල් වලින් දුවන ෆ්‍රිජ් එකක් ගැන මම ඔය ඇහුවමයි.
අඩේ මේ කළුබෝවිල චන්ඩියනේ....හික් හික්....මමත් ජීවිතේටම දැක්කේ නෑ ඒ වගේ එකක් , අර කෑමනං මතක් වෙනකොටත් කෙළ උනනවා තමයි...
Deleteඅම්මෝ....යන්තම් 90 වෙනකොට කලබල ඉවර වෙලා තිබ්බේ අනික ආව කියලා වැඩකුත් නෑ මාව උස්සන් යන්න බෑ උන්ට මොකෝ ඉපදිච්ච ගමන් පැටියා නේ ;)
ReplyDeleteඅපේ අම්මත් ලේන හතු මැල්ලුම හදනවා මාර රසයි,මාර ආසයි මාත් ඒවාට.ඉස්සර නම් වැඩියෙන් හදනවා එත් ගෙදර යන්නේ කලාතුරකින් නිසා ඒවා නෑ.
මරු ෆ්‍රිජ් එක ඈ...
ඔය අයිස් පලම් දකිද්දී ඉස්කෝලේ ගිහින් කාපු ඒවා මතක් උනේ.....
මම නං කාලෙකින් ඔය මැල්ලුමක් කෑවේ නෑ මචෝ..ආසයි කන්න....මමත් හීන් එකා නිසා බේරුනා ඒකාලේ....අයිස් පලම් කිව්වට ඒවා කෝටුවක් ගහලා තිබුනේ පොඩි කෝප්පවල වගේ මතක, ෆ්‍රිජ් එකේ අයිස් කැට වෙන්න තරං පවර් එකක් නෑ , මොකද අසිය් කැට කනවා මතකයක් නෑ. නිකං බාගෙට අයිස් මිදිච්ච පොඩි කෝප්පයක් වගේ යාංතං මතක.....
Deleteපොඩි කාලේ අපි කරපුවා,උන දේවල් කවදාවත් අමතක කරන්න බෑ ඒවා හරි සුන්දර මතකයන් අයියේ,......!
Deleteවැඩක් නෑ කියලා ඒ කාලේ....
Deleteඅපිත් හදනව අයිස්පලම්..මෙහෙ තියනව පලතුරු යුෂ බෝතල් ඒවා ගෙනත් තමා හදන්නෙ...මේ කාලෙට නියමයි..හෙනම රස්නෙ අප්පා...
ReplyDeleteමමත් මේ බිංකුන්ඩා වගේ ඔෆිස් එක ඇතුලටම වෙලා ඉන්නවා උදේ ඉඳන් රෑ වෙනකං, එළියට බහින්න බෑ රස්නෙයි....අයිස් පලම් බොනවා රෑට වොඩ්කා එක්ක. හික් හික් ....
DeleteThis kerosene fridge was very popular at that time.Amonia was the refrigerant medium.I remember Usha brand.Used by small rural hospitals,rest houses ect.Still can buy these but use LPG instead of kerosene.Most popular for use in caravans,yachts ect.
ReplyDeleteThanks for the info; I never saw this kind of fridge in my life, nice time with unforgettable memories….
Deleteඅපූරු මතකයන්.. :)
ReplyDeleteඅවසාන පින්තුරේ ෂෝ......................යි :)
හි හී හොයලා හොයලා ලස්සන එකක් තෝරගත්තා....ඒ මතකය අමතක කරන්න බෑ අප්පා....
Deleteදැන් තමයි මටත් මතක් උනේ. අපිත් පොඩි කාලේ දිවුල් කිරි හදලා ඒවායින් අයිස් පලම් වගේ හදලා කනවා. දිවුල් කිරි වෙනුවට නිකම්ම කිරිත් ගන්නවා.
ReplyDeleteසමහර දවස් වලට පැශන් ෆෘට් වලිනුත් හදනවා, ඒවා දිය රහයි,ඒ කාලේ මාරයි අප්පා...
Deleteදැං මතක් උනේ ..දිවුලංපිටිය පැත්තට ලංවෙන්න නේ හිටියේ , ඒක නිසා දිවුල් තියෙන්න ඇති නේද....
Deleteඅඩේ ඔහොම ෆ්‍රිජ් එකක් ගැන ඇහුවමයිනෙ...... උඹටත් හොඳ අතීතයක් තිබිලා තියනවා නේද ?
ReplyDeleteඒ කාලේ තුන්ඩු වලින් ඇඳිරි නීතිය දාපු විදිහ තමයි මරු.. ආණ්ඩුවෙ එකට වැඩිය ඒකට මිනිස්සු බයයි...මටත් මතකයි ඔය කාලෙ මාස තුනක් විතර එකදිගට ඉස්කෝල නිවාඩු හම්බුනා වගේ.. හැමදාම ටිකෙන් ටික කල් ගියා.. අනේ තව දික් වෙයන් තව දික් වෙයන් කිය කිය තමා අපි හිටියේ..
ඒ කාලේ මොකුත් තේරුමක් නෑ නේ වෙන්නේ මොකක්ද කියලා, ඉස්කෝලේ නෑ , ඒක නිසා ෆුල් ආතල් , ඔය අයිස් පලම් ගෙදර ගිහිල්ලා පළතුරු ජාත් කන එක තමා ආසම , ටිකක් දුර නිසා වෙල් මැද්දෙන් පයින් තමා යන්න ඕනේ, ආසයි ආයිත් ඒ අතීතෙට යන්න...
Deleteවෑදම ?? අපි නම් කියන්නෙ ඇඹුල කියලා.හරිම රසබර අතීතයක්නෙ
ReplyDeleteඅපේ පැත්තේ කිව්වේ වෑදම කියලා, තව එක එක නම් ඇති එක එක පලාත් වල...දුක හිතෙනවා සමහර වෙලාවට ඒ අතීතේ මතක්වෙද්දී....
Deleteමම අහලා තියෙන්නෙත් ඇඹුලකියන වචනෙයි. මට නම් 1989 සුන්දර කාලයක් කියලා කවදාවත් හිතිලා නෑ. මකලාම දාන්න වටින අවුරුද්දක්.
ReplyDeletehenryblogwalker the Dude
මම අහලම තියෙන්නේ ඔය වචනෙනේ..89 සුන්දර නැති උනාට ඒ මතකයන් හරිම සුන්දරයි ...
Deleteගොයම් කපනකොට දෙනා ඇඹුල නම් කියල වැඩක් නැහැ තමා. කොච්චර කෑවත් ඇති කියල හිතෙන්නේ නැහැ. මම ඔය කියන අයිස් පෙට්ටිය ගැන අහල තිබුනට දැකල නැහැ.
ReplyDeleteඅපේ පැත්තේ මස් මාළු එහෙම ගෙනාවේ නෑ මේ වෑදමත් එක්ක, කුඹුරට ගෙනාවේ නිර්මාංශා ආහාර , පස්සේ කාලෙක හාල්මැස්සෝ බැදුම් එහෙම ගෙනාවා, ඒත් ඒවා එක්ක කිරිබත් කෑවේ ගොයං පාගලා ඉවරකරපු දවස් වල වගේ මගේ මතක....අයිස් පෙට්ටියනං අමතක නොවන මතකයක්, තාමත් පුදුමයි ඒකේ වතුර එහෙම හරි සීතලට තිබුන හැටි මතක් වෙද්දී, මට මතකයි දැං වගේ අයිස් කැට හයියට තිබුනේ නෑ, වතුර මිදිච්ච ගතියක් වගේ තමයි තිබ්බේ, අයිස් පලම් එක කෝටුවේ තියාගෙන කන්න බෑ, අන්තිම ටික විතරයි කෝටුවට ඇලිලා තිබුනේ.....මාරම මාර ලස්සනක් ඒ ගමේ තිබුනේ...දැං ඒ ලස්සන එන්න එන්නම අඩුවෙලා නාගරීකරනයත් එක්ක.....
Delete88-89 ජීවිතේ ලොකු සන්ධිස්ථානයක්.. ඒ ගැන හිත මතක්කරන්න මම ආසම නැති කාලයක්. එකම එක කමෙන්ට් එකක් ප්‍රහාරයේ දෙවැනි පෝස්ට් එකේ දැම්ම ඒ ගැන. ආයෙත් නම් මතක් කරන්නේ නෑ..
ReplyDeleteමටත් මේ මිහිරි මතකයන් එක්කම අමතක කරන්න බෑ ඒ අදුරු කාලේ , මගේ ඇස් දෙක ඉස්සරහ වෙච්ච දෙයක් නිසා අදත් ඉන්නේ ඒ තිගැස්සීමෙන්....පස්සේ ඒ කත් ලියන්න හිතං ඉන්නේ, හිත සැහැල්ලුවෙන්න.....
Deleteඋබට එච්චර ඒව මතකද බං ඒ කාලේ. මම ඉපදිලා අවු. 2යි.
ReplyDeleteඅයිස් කාපු එක හොදා ඒ කාලෙ බොක්ක රත් වෙලානේ ඉන්න ඇත්තේ.
අද වගේ මතකයි මචෝ... මම ඉපදුනේ 76 නේ....බොක්ක රත් වෙලා තමා හිටියේ මේ සහෝදරයන්ගේ වැඩ නිසා...
Deleteඅරම ෆ්‍රිජ් එකක් දැක්කාමයි..
ReplyDeleteකොහොමහරි කමක් නෑ අයිස් ක්‍රීම් කෑවා නේ.. :)
අයිස් පලම්...ක්‍රීම් කෑවේ ඉරිදට පොලෙන් විතරයි, හික් හික් ...
Deleteමමත් අහම අයිස් පෙට්ටියක් ගැන ඇහුවමයි.
ReplyDeleteපුංචි සන්දියේ අයිස් පලම් එකක් ලැබුනම කොයිතරම් සතුටක් දැනෙනවද?. ඒ දවස්වල පොඩි දෙකින් ලොකු සතුටක්. දැන් ලොකු දෙකින් පොඩි සතුටක් :/ .මට හැම තිස්සෙම හිතෙනවා අපරාදේ ලොකු වුනේ කියලා .
අහම්බෙන් මතක් උනේ ඔය අයිස් පෙට්ටිය ගැන මතකය, අපරාදේ ලොකු උනේ කියලා හිතෙන වාර අනන්තයි...
Deleteපැත්තේ බටයක් වගේ එකකින් භූමි තෙල් වලින් පහනක් වගේ එකක් පත්තු කරලා ඇතුලට දැම්මම තමයි කූල් වෙන්නේ
ReplyDeleteඔය නිපල් එකක් මාලග තිබුනා.
ෂුවර් එකට අම්මලාගේ ගෙදර ඇති.
හම්බුනොත් ෆොටෝ එකක් බලත හැකි
හප්පා එළ නේ..
Deleteඅඳුරු කාලේ සුන්දර කතාවක් කියෙවුවමයි.ලොකු අම්මලා ගාල්ලේ කොයි පැත්තේද?
ReplyDeleteඅර අයිස පෙට්ටිය ගැන දැනගත්තේ අදනේ මචං.
ගාල්ලේ ලොකු අම්මා කිව්වට ගාල්ලේ කොහේද දන්නෑ මචෝ....අපි එහේ ගිහිල්ලා නෑ..දැං ලොකු අම්මයි ලොකු තාත්තයි දෙන්නම නෑ..අයියල තමයි දැං ගමේ ඉන්නේ....
Deleteඅමිහිරි කාලෙක මිහිරි මතකයක්.. අර කූල් කරන වැඩේ නියමයි නේ..
ReplyDeleteතාමත් පුදුමයි අප්පා ඒ අයිස් පෙට්ටිය මතක්වෙද්දී...
Deleteඔය විදිහට මමත් ට්‍රයි කරල බලන්න ඕන.89 දි ඔය කල බල අස්සෙනෙ මම ඉපදුණේ.ඒ කාලේ ගැන හරියටම දන්නෙ නෑ ඕං...
ReplyDeleteගෙදර අයිස් පෙට්ටියට පහන් පත්තුකරලා දාන්න එපා..ගෑස් ටැංකිය පුපුරලා හෙන විනසයක් වෙයි....
Deleteමාත් ඇහුවමයි ඔය ජාතියේ අයිස් පෙට්ටියක් ගැන . ලේන හතු අපේ ආච්චිත් උයනවා ඒ කාලේ . හැබැයි ලේන හතු පොල් මැල්ලුම නම් දකුණේ වෙන්න ඇති. රෙසිපිය ඉල්ලා ගන්න බැරි වෙයිද . වෙන හතු වර්ගයකින් හදල බලන්න .
ReplyDeleteපරණ කතන්දර කොච්චර ඇහුවත් ලස්සනයි . අපේ පැත්තට නම් අයිස්ක්‍රීම් වෑන් ආවා . එලිෆන්ට් හවුස් , වුඩ්ලන්ඩ් වගේ. ඒ වුනාට අර බයිසිකල් කාරයෝ ගේන එව්වත් අම්මට හොරෙන් කෑවා. ඒවා හදන්නේ කැළණි ගඟේ වතුරෙන්ලුනේ ...D .[ පස්සේ කාලෙක පය්ප්ප වතුර බොන්න පටන් ගත්තම එව්වත් කැළණි ගඟේ වතුරමනේ .]
89 දී අපිත් හිටියා.ඒ කාලේ ඉඳල තවම ඉන්නවා කියන්නෙත් සැහෙන වීර ක්‍රියාවක් . . අපේ ගමේ තරුණ අය එච්චර මැරුණේ නැහැ . හැබැයි පිට පළාත්වල අය අවසන් ගමන් ගියා මේ පැත්තේදී . වැලිවිට පාලම , බටලන්ද , කැළණි ගඟ .....
හැම දෙවටකම හමුදාවෙන් හිටියා . ගස් අස්සේ කොළ පාට ඇඳුම් ඇඳන් ඉන්න කොට පේන්නේ නැහැ . කටවල් පරිස්සන් කරන් ඉන්න වුනා . ගමේම ගෙවල් වල ID එකතු කරන් ගිහින් . අපේ දිහාට ආවේ නැහැ . අපි ඒගැනත් බයේ හිටියේ . අය්යයි අක්කයි සැලකිය යුතු වයසක හිටියේ . මාව වුනත් පොඩි සම්බෝලෙකට වගේ ඇති .
අපිත් දැන් අයිස් ලොලි හදනවා . කෙල්ලොයි උන්ගේ යාළුවොයි සුටුස් ගාල ඉවර කරනවා
ගාල්ලේ ලොකු අම්මා නැතිවෙලා ගොඩක් කල් දැං, අයියල දෙන්නා ඕවා දන්නේ නෑ මගේ හිතේ, ඒ පොල් මැල්ලුමට ඉඳලා හිටලා හාල් මැස්සොත් එකතුකරනවා, හදන හැටි අම්මගෙන් අහලා පස්සෙ කියන්නම්...
Deleteඅපේ අම්මත් අර බයිසිකල් වල ඒවා කන්න දෙන්නේ නැත්තේ ගඟේ වතුරෙන් හදන්නේ කියලා, පස්සේ හොරෙන් තමයි කෑවේ,අයිස් ක්‍රීම් කෝන් නැති දවස් වලට බිස්කට් වගේ එකකට දාලා දෙන්නේ,දැන් නං ආසයි ඒවා දකින්නත්..
මාවත් වැඩිය එලියට පහලියට යැව්වේ නෑ..අපේ ගෙදරට වැරදිලා දවසක් රෑ ආවා ID එකතු කරන්න, බාගෙට දොර ඇරලා තාත්තා ID දුන්නම ආ සර් නේ කියලා ඌට කියවිලා ආයි ආවේ නෑ ඉල්ලන්න....හමුදාවෙන් ඇවිල්ලා තමයි අපේ පැත්තේ පොලීසිය බේරගත්තේ ,,,හික් හික් ...
අපේ ගෙදර වැඩිය අයිස් පානයක් නෑ පොඩි උන් දෙන්නම හොටු බේරගත්ත ගමන් ඉන්නේ නිතරම...
ඒ කාලෙට ආයි යන්න ඇත්නං කියලා හිතෙනවා....
කවදාවත් අමතක නොවන අතීතේ සුන්දරයි. ඒ අතීතේ හැමදාම අපිව ජීවත් කරවනවා,.
ReplyDeleteඇත්ත..අතීතේ මතක් කරලා සතුටු වෙනවා.....
Delete1971 දී නම් මම ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රබල සාමාජිකයෙක්. මගේ පන්තියේ මිතුරන්ම 11 දෙනෙක් මියගියා/අතුරුදන් වුනා. මම බේරුනේ මගේ පන්ති බාර ගුරුතුමා මාව අල්ලගෙන තාත්තට බාරදීපු නිසයි. තාත්තා මගේ කන පලලා ඒ කාලේ අපි පදිංචිව හිටිය දිහාවට ගෙනිහින් හැංගුවා. රෑට පොඩි අක්කගේ ගවුමක් ඇඳලා පොඩි අක්කයි දෙවෙනි අක්කයි මදින බිම පදුරක නිදි කෙරෙව්වා. ඒ පැත්තේ පොලීසිය මා ගැන දන්නේ නැහැ. නමුත් දෙවරක් අවා රාත්‍රී කාලයේදී. පැදුරේ නිදියන ගෑනු ළමයින් තුන්දෙනා දිහා බලලා ගියා. 1988 -89 කාලයේදී මම යුද හමුදාවේ වග කිවයුතු නිලධාරියෙක්. මම අල්ලාගත් කිසිම ජවිපෙ සාමාජිකයකුව නිදහස් කලේ නැහැ. නිදහස් කලානම් වෙන අය අතින් මැරුම් කනවා. මම ඔවුන් හැකි තරම් කල් තියාගෙන ඉඳලා පුනරුත්තාපනයට බාර දුන්නා. සමහර අය කසාද බඳින තුරුම ඔවුන් ගැන සොයා බැලුවා.
ReplyDeleteඔබ කියන ශීතකරණ වර්ගය ලංකාවෙත් නිපදවූවා. මට මතක හැටියට එහි නම 'ග්ලැසියෝ'ඒක හැදුවේ 'රෝලන්ඩ්ස්' කියන සමාගමෙන් බවත් ඒ සමාගම තිබුනේ කොළඹ 7,ධර්මපාල මාවතේ බවත් මතකයි.
අසමි දකිමි සොයමි ලියන විචාරක
ස්තූතියි වැදගත් තොරතුරු ටිකක් මතක් කරලා දුන්නට..මගේනං වැඩි පැහැදීමක් නෑ ඔය සහෝදරයෝ ගැන...
Deleteමමත් මේ 89/90 මතකය දිග අරින්න හැදුවා විතරයි. පහල ලින්ක් එකෙන් බලන්න මාගේ අත්දැකීම් වල ආරම්භය. දිගටම ලියන්න හිතන් ඉන්නේ සුමිත් නිරිඅල්ලට සහයෝගයක් හැටියට. මෙන්න මාගේ අත්දැකිම්
ReplyDeletehttp://awidda-paya.blogspot.com/2012/08/1.html
මෙතන ලින්ක් ඒක දැම්මාට සමා වෙන්න. උනන්දුවක් දක්වන ඇයට කියවන්න දැම්මේ.
එළ එළ කියවලා බලන්නං.....
Deleteගම පලාත සබරගමුවෙ උනාට අපේ මාමා අම්බලන්ගොඩ නිසා අපේ අම්මත් ඔය සේරම කෑම ජාති හදනවා..ඒ නිසා කටටත් කෙල ඉනුවා.. ඔහොම ෆ්‍රිජ් එකක් ගැන නම් ඇහුවමයි !
ReplyDeleteඒ කෑමනං කොච්චර කෑවත් මදි....
Deleteගම ගැන රසවත් විස්තරයක් . දාල තියන කෑම විස්තර ටික හරිම අපූරුයි .
ReplyDeleteහැම නිවාඩුවකටම ගමට දුවනවා තාමත් ගඟේ නාන්න....කිතුල් රා පොඩ්ඩක් බොන්න එහෙම....දැං නං ගොඩක් වෙනස් වෙලා ගමත්....
Deleteඅපේ සුදු මාමවත් පොලිසියෙන් අල්ලං ගියාලු ඒ කාලේ.. අපි නම් අම්මගේ බඩේ ඒ කාලේ...
ReplyDeleteඉතින් සුදු මාමා ගෙදර ආවද.....
Deleteඅහ්හ්...ඔව් ඔව්..එයා ගෙදර ආව...දැන් එයා ටීචර් කෙනෙක්...
Deleteඅනේ ලොකු දෙයක්...මොකද ඒ කාලේ කීයෙන් කීදෙනාද ආපහු ගෙදර ආවේ....
Deleteඅපි නොහිටි කාලය ගැන...
ReplyDeleteඔව් ඔව් ඒ කාලේ මාරයි අප්පා...
Deleteඑතකොට කයිබත"කියන්නෙත් මේවටමද?
ReplyDeleteඑහෙම වෙන්න ඇති නේද..මම ඒ නම අහලම නෑ....
Deleteදැන් අර වගේ අයිස් පෙට්ටි නැද්ද...
ReplyDeleteතාම තියෙනවා අප්පා..ඔය ලින්ක් එක බලන්නකෝ......
Deleteපෝස්ට් එක කියවලා මගේ අතීතයේ යුග කීපයකටම ගියා මලේ. මගේ අම්මා තාත්තා දෙන්නත් ගුරුවරු. පොඩිකාලේ ඇතිවෙනකම් ගුටි කෑවා, දෙන්නගෙන්ම.
ReplyDeleteඅම්මගෙ ගම ගාල්ලේ. ගාල්ලෙ ගියහම බඩ පැලෙනකම් කිතුල් පැණි එක්ක මීකිරි කෑවා.
අපේ දෙපාර්තමේන්තුවෙ සංචාරක නිවාසවල තියෙන්නෙත් බූමිතෙල් ෆ්‍රිජ්. කැඩුනහම කොළඹ රෝලන්ඩ්ස් එකටම උස්සගෙන එන්න වෙනවා හදා ගන්න.
ලස්සන අතීතයක් වගේ මතකෙට ඇවිල්ලා තියෙන්නේ...අම්මා තාත්තා දෙන්නම ගුරුවරුනං ආයි අහලා වැඩක් නෑ...දැං කාලේ වගේ නෙමෙයිනේ ඒ කාලේ වැරැද්දක් කරානං ඉස්සෙල්ලම ගහන්නේ තමන්ගේ එකාටනේ....දැං ඒකේ අනික් පැත්තනේ...කිතුල් පැනි එක්ක පොල් තමයි මම ආසම කන්න එහේ ගියාම....දැං නං ඒවටත් සීනි කවලං කරනවද කොහෙද.....
Deleteඅද ආවේ. ආපු ගමන් හිතට සමීප දෙයක් ගැන අද්දැකීමක්. 89 කලබල කාලේ මං ගොඩක්ම පුංචියි. ඒත් මට හොදටම මතකයි අපේ අම්මා වෙඩි සද්දයක් ඇහෙනකොටම මාවත් ඉනේ ගහගෙන දුවනවා. අපේ අක්කලට හැංගෙන්න අපේ අම්මයි මාමායි දෙන්න උමගකුත් හැදුවලු.
ReplyDeleteඅයිස් පලම් කතාවත් නියමයි...
ඒකාලේ අපි පොඩි නිසා බේරුනා...ගෙවල් ලඟ ගොඩක් අයියලා අක්කලා හැන්ගිලා තමයි හිටියේ ඒ කාලේ......ස්තූතියි මේ පැත්තේ ආවට...
Deleteමම ඔය වෑදම, ඇඹුල කියන වචන දෙකම අහල තියෙනවා.... ඒ උනාට වැඩිපුරම පාවිච්චි කළේ ඇඹුල කියන වචනෙ.... මී කිරි, කිතුල් පැණි, වැලි හකුරු.... ම්ම්ම්ම්ම්.... :D
ReplyDeleteඅපේ පැත්තේ ඉතින් වෑදම තමයි....වෑදං කන්න යනවා කියලා දුවනවා කුඹුරට...කෑම ගැන නං මතක් වෙනකොට කටට කෙළ උනනවා....ගිය සතියේ ආවේ ගෙදර ගිහිං ලොකු කරදරේකුත් වෙලා....
DeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteමරුනේ.........
ReplyDeleteඒත් දැන් කලෙ ළමයිටනම් කියන්ට වෙන්නේ, (මම දණගාන කලේ ඉදන් ක්ලාස් ගියා කියලා තමයි )
ඇත්ත....කුරුම්බැට්ටියකින් මැසිමක්වත් හදාගන්න උන් දන්නේ නෑ....
Deleteහ්ම්ම්... අතීතය අපූරුයි නේද? ඔය කියන අයිස් පෙට්ටිය ගැන නම් ඇහුවේ අදමයි...
ReplyDeleteඅයිස් පෙට්ටියනං කියලා වැඩක් නෑ....මැජික් වගේ ඒ කාලේ.....
Delete